Sunday, 10 March 2019

වගා කරන ආකාරය

ඇන්තූරියම් මල් වගාවට දේශගුණික අවශ්‍යතා ඇති ස්ථානයක් තෝරා ගත යුතුයි. හොදින් පොළව කොටා පාත්තියක් සකස් කර මුලින් කොහු බත්, රතු ගඩොල් කැට කැබලි, පොල් කොහු වගේ දේවල් එම පසට එක් කරන්න. එක් කර සාදා ගත් පාත්තියට ඇන්තූරියම් පැළ ඉඳුවා එම ඇන්තූරියම් ශාකය වටේට පොල් ලෙලි අතුරන්න. මෙහිදි වියළි ගොම, කිරිදීසියා ශාක අතු, අඟුරු කැබලි දිරා පත් වන කොළ රොඩු වගේ ඒවා එම පාත්තියට එක් කරන්න.

මතක තියා ගන්න පාත්තියක හරි මල් පෝච්චි වල හරි ඇන්තූරියම් පැළ ඉන්දුවත් සෙවණ තියෙන තැනක් වෙන්න ඕන. මොකද ඇන්තූරියම් මල් වගාවට තෙතමනය වගේම සෙවනත් ඉතා වැදගත්. ඒ වගේම දිනකට දෙපාරක් වත් ඇන්තූරියම් පැල වලට වතුර දාන්න.ඇන්තූරියම් මල් පැල හොදින් රෝපණය කර මාස ගානක් යන විට එම පැළ තුලින් අලුත් පැළ මුහුකුරනවා. ඉතින් ඔබට පුළුවන් එකම පදුරෙ තියෙන අලුත් ඇන්තූරියම් කුරුල්ලන් අරගෙන වෙනම තව තැනකින් හිදුවා ඔබේ ඇන්තූරියම් මල් වගාව ටික ටික ව්‍යාප්ත කර ගන්න. ඇන්තූරියම් මල් කපන්න හොද කතුරක් තියා ගන්න. හැමෝටම ඇන්තූරියම් මල් කපන්නත් ඉඩ තියන්න එපා…

පැළය බඳුන් ගත කර සිටුවීම:

වගාව සඳහා යොමු වන ආධුනිකයෙකු වගාව කිරීමට සුදුසු තත්ත්වයේ ඇන්තූරියම් පැළ, පැළ විකුණන ස්ථානයකින් සපයා ගත යුතු ය එසේ සපයා ගත් පැළවල වැඩිපුර ඇති මුල් කපා දමා කැප්ටාන් දිය කළ බඳුනක වි. 5ක් ගිල්වා තබා පැළ බඳුන් ගත කිරීම සුදුසු ය. පැළ බඳුන් ගත කිරීම සඳහා සෙ.මී.30 ක විෂ්කම්භයක් ඇති බඳුන් තෝරා ගත යුතු ය. බඳුනෙහි යට ඇති සිදුරු මත අඟල් දෙකක් පමණ උසට උළු හා ගඩොල් කැබලි ද ඊට උඩින් දිරාපත් වූ කොළ රොඩු ද ඒ මත ඇන්තූරියම් පොහොර මිශ්‍රණයක් ද අතුරා පැළ බඳුන් ගත කළ යුතු ය. බඳුනෙහි උඩ අඟලක පමණ කොටසක් ඉතිරි ව තිබෙන්නට ඉඩ හල යුතු ය.

  • ඇන්තූරියම් පොහොර (කාබනික):
  • කොල ‍පොහොර කොටස් 2
  • වියලි ගොම කොටස් 1
  • කොහු බත් කොටස් 2
  • වැලි ½ අඟුරු කොටස් 1
  • ඇන්තූරියම් පොහොර (රසායනික)
  • යූරියා කි.ග්‍රෑ. 3 ½
  • සාන්ද්‍ර සුපර් පොස්පේට් කි.ග්‍රෑ. 7
  • මියුරේට් ඔෆ් පොටෑෂ් කි.ග්‍රෑ.4

(රසායනික පොහොර ඉහත සඳහන් අනුපාතයට මිශ්‍ර කර ගිණි පෙට්ටි පියනකින් එකක්, පැළ තුනකට පමණ වන සේ පැළ සිටුවා සති තුනකට පසු යෙදීම සුදුසු ය. ‍පොහොර යෙදීම බඳුන් දාරය ආසන්නයේ පැළවලට ඈතින් සිදු කළ යුතු ය.)

පොහොර ‍යෙදීම මසකට වරක් ද, මල් හට ගන්නා විට සති දෙකකට වරක් ද උදය කාලයේ දී ජලය යෙදීමෙන් අනතුරුව කළ යුතු ය. කාබනික පොහොර යෙදීම මාස 3කට වරක් සිදු කිරීම ප්‍රමාණවත් ය. මෙසේ සිටුවා ගත් බඳුන් සෙවණ ඇති තැන්වල තබා නඩත්තු කළ යුතු ය.

පැළ පාත්තිවල සිටුවීම:

ඇන්තූරියම් පැළ පාත්තිවල සිටුවන්නේ නම් ආකාර දෙකකට සිටුවීම කළ හැක.

  • 1. කාණු ඉදිකර වගා කිරීම
  • 2. පාත්ති සකසා වගා කිරීම

යන ක්‍රම දෙකෙන් කුමන ක්‍රමය අනුගමනය කළ ද කෘත්‍රිම ක්‍රමයට සෙවණ සැපයීම කළ යුතු ය. කාණු ඉදිකර වගා කරන්නේ නම් සමතල භූමියක සෙ.මි.25-30 ගැඹුරැති කාණු සකසා එහි අඩියට ගඩොල් කැබලි තට්ටුවක් යෙදිය යුතු ය. ඉන් පසු වේයන් මර්ධනය සඳහා රසායනික ද්‍රව්‍යයක් යෙදිය යුතු ය. ගඩොල් මත පොහොර මිශ්‍රණය අතුරා දින 5කට පසු පැළ සිටුවීම කළ හැක. පාත්ති ක්‍රමයට වගාකරන්නේ නම් සෙ.මි.25 ක් පමණ ගැඹුරට පස බුරුල් කර පාත්ති සකස් කර පොහොර යොදා කෘමින් මර්ධනයට පියවර ගත යුතු ය. ඉන් පසු පැළ අතර පරතරය අඩි දෙකෙන් දෙකට වන සේ පැළ සිටු වීම සුදුසු ය. පොහොර යෙදීම, ජල සම්පාදනය, වල් මර්ධනය ක්‍රමවත් ව කළ යුතු ය.

ඇන්තූරියම් වගාවට අවශ්‍ය පෝෂ්‍ය කොටස් කීපයකි. මින් ඉතාමත් පෝෂ්‍ය කොටස් වන්නේ ෆොස්පරස්, නයිට්‍රජන් හා පොටෑසියම් ය. අත්‍යවශ්‍යෙයන්ම මේ කොටස් අවශ්‍ය වුවත්, ද්වීතියික වශයෙන් ද යෙදිය යුතු පෝෂ්‍ය කොටස් ද ඇත. මේ අනුව කැල්සියම්, මැග්නීසියම්, යකඩ, සින්ක්, මොලිබිඩ්නම්, බෝරොන්, ආදිය ද යෙදි මෙන් සරු මල් අස්වැන්නක් ලබාගත හැකිය. මේ සියල්ල නිසි අයුරින් යෙදිය හැකි වුවත් ශාකයේ වර්ධන අවදි අනුව පොහොර යෙදීම කළයුතුය.

0 comments:

Post a Comment